Description

යුද්ධයේත්, අව් වැසි කුණාටුවලත් හිරිහැරවලින් නොසැලී, පැරණි රතු ගඩොල් තවමත් අභිමානයෙන් හිස ඔසවාගෙන සිටී. සියවස් ගණනාවක් තිස්සේ සිදුවුණු ක්ෂයවීම් වලටවත් නාලන්දා විශ්ව විද්‍යාලයේ ගාම්භීර රැස් මඩලට හානියක් කරන්නට පුළුවන් වී නැත. දුර ඈත අතීතයේ පටන් මේ දක්වාම එහි මහේශාක්‍ය නටඹුන්වල රැදී ඇත්තේ අසමසම වූ ශාන්තභාවයකි. ලා රන් පැහැ දීප්තියකින් මුළු නාලන්දාවම නහවමින් ඒ නටඹුන්වලට ගෞරවය පුද කළ සැන්දෑ හිරු බැස ගියේ ගොම්මන් අදුරට හෙමින් ගලා එන්නට ඉඩ හරිමිනි. චාන්දනී නටඹුන් වල ඡායාරූප ගැනීම හමාර කළාය. ඒ ඡායාරූප ඇය විසින් දේශීය පුවත්පතකට ලියන “බිහාරයේ අභිමානය – නාලන්දා විශ්වවිද්‍යාලය” මැයෙන් යුතු ලිපියකටය. දෙපසම ගස් වලින් හෙවණ වුණු ඒ පටු පාරේ එක් පසෙක තේ කඩයකුත්, අනෙක් පස කෑම කන තැන් කිහිපයකුත් විය. ඇය ඒ තේ කඩය වෙත ඇවිදගෙන ගියාය. එක්වරම ඇයට මහා පිපිරීම් හඩක් ඇසුණි. චාන්දනී ඉක්මනින් අසල වූ මැයි ගසකට වාරු වී ආපසු හැරුණේ සිදුවන කලබැගෑනිය හොදින් බලාගන්නටය. මිනිස්සු කම්පනයත් බියත් ලියැවුණු මුහුණු වලින් යුතුව, යටිගිරියෙන් බෙරිහන් දෙමින්, කෑ කෝ ගසමින් ඒ මේ අත දුවමින් උන්හ. කඩපේලියේ තිබුණු එක් කුඩා අවන්හලකින් ගිනිදළුත්, දුමාරයත් ඉහල නගිමින් තිබිණ. සමහර විට එහි තිබුණු ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් ඇතුවා වෙන්නටත් ඇත. මිනිසුන් බියපත්ව සිටින්නේ ඒ පිපිරුම් හඩට විය යුතුය. එහෙත් චාන්දනී නම් දුටුවේ ඒ සිදුවීම නොවේ. ඇය දුටුවේ ගිනිගෙන දැවෙන ගොඩනැගිල්ලක නොපහැදිලි දසුනකි. ඒ ගොඩනැගිල්ලේ හාත්පස මුලුමනින්ම වැනසූ සලකුණුය. තැනින් තැන ගලා යන ලේ ගංගාවන්ය. ඒ මැදින් බුර බුරා නැගෙන ගිනි දළුය.

Reviews

There are no reviews yet.

Be the first to review “නාලන්දාවේ ශාපය-Nalandawe Shapaya”

Your email address will not be published. Required fields are marked *